සංචරනයට මාදු ගඟ
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට
අයත් බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ
පිහිටි මාදු ගඟ වූ කලී මෙරට ඉතාමත් වටිනා පරිසර පද්ධතියකට උරුමකම් කියන්නා
වූත් සුවිශේෂී කඩොලාන ගහනයකින් පොහොසත් වූත් ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයකි. කොළඹ
නගරයේ සිට ගාලු ප්‍රදේශයට කිලෝමීටර 81 ක පමණ දුරක් පැමිණීමේදී හමුවන බලපිටිය නගරයේ
සිට කි. මී. 6 – 7 ක් පමණ නගරය අභ්‍යන්තරයට පිවිසෙන විට
හමුවන උස් බිම හැඳින්වෙන්නේ පොල් අතු කන්ද නමිනි. එයින් පැන නඟින ජල උල්පතකින් සෙමෙන්
පහළට ගලා බසින සිහින් දිය දහරාව පසුව බොරලැස්ස ඇළ, හීන් ඇළ සහ මාගල ඇළ මගින් පෝෂණය වෙමින්
බලපිටිය නගරයේ දී ගංගාවක් ලෙසින් සුන්දර ගං මෝයක් නිර්මාණය කරමින් සාගරයට එකතු වෙයි.
අප මාදු ගඟ නමින් හඳුනාගන්නේ මේ කියන ජල ප්‍රවාහයයි.(4.1.1 රූපය-මාදු ගඟේ ව්‍යාප්තිය)
හෙක්ටයාර් 770ක පමණ වපසරියක පැතිර ඇති මෙම ජල ප්‍රවාහයත්,
හෙක්ටයාර්
915කින් යුත් තෙත් බිමත් එක්වූ මෙම සුවිශේෂී පරිසර පද්ධතිව වූ කලී 2011 වර්ෂයේ දෙසැම්බර් 11 වන දින පටන් ජාත්‍යන්තර
රැම්සා ප්‍රඥප්තියෙන් පිළිගත් තෙත් බිමක් වේ. එපමණක් නොව ඉතා ඉහල
සත්ත්ව විවිධත්වයක් සහිත අභය භූමියකි.ඒ අනුව ශ්‍රී ලංකාවේ මතු නොව ජාත්‍යන්තර තලයේ
අවධානයක් ද හිමි මාදු ගඟ පරිසර ලෝලීන්ට වින්දනාත්මක ස්ථානයක් ලෙසත්, පරිසර වේදීන්ට
පර්යේෂණ භූමියක් ලෙසත්, ඉතිහාසඥයින්ට ඓතිහාසික සාධක ඇති අත්පොතක් ලෙසත් දෙස්
විදෙස් ආකර්ශනයට ලක්වූ පාරිසරික නිකේතනයකි.
මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන සුවිශේෂි
භූගෝලීය පිහිටීමක් ලෙස ඒ අවට පිහිටියා වු දූපත් සමූහය පෙන්වා දිය හැක. හෙක්ටයාර් 770 ක භුමි භාගයක් වසා පැතිරෙන මාදු ගග
කලකට ඉහත දී පරිවාර දුපත් 64 කින් පමණ සමන්විතව තිබූ බව සඳහන් වන නමුත් 1997 රුහුණු
විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශය මගින් කල අධ්‍යයනයක දී සොයා ගැනුනේ
සුනාමි ව්‍යවසනය, ජල මට්ටම් ඉහළ යාම,
එක ළග
ඇති කුඩා දුපත් යාවීම, පස ඛාදනය වීම ආදී කරැණු හේතු කොට ගෙන දූපත්
17 ක් පමණක් ඉතිරිව ඇති බවයි. එහෙත් මාදු ගඟ ආශ්‍රිතව වෙසෙන ජනතාව ප්‍රකාශ කර තිබෙන්නේ
තවමත් දූපත් 25 ක් පමණ නොනැසී පවතින බවයි.. මෙම දූපත් අතරින් විශාලම දූපත
හෙක්ටයාර් 39ක පමණ වපසරියෙන් යුත් “මාදූව”
වන අතර “සතපහේ දූව” කුඩාම දූපත වේ. මාදූව සහ
ගොඩබිම යා කෙරෙන අඩි 1200 දිග පාලම මෙරට දිගම පාලම් අතරින් 1කි. ඊට අමතරව කොත්දූව,
මුවන්ගේ දුව, නයිදූව, දික්දූව, තල්දූව, කඩාපාන දූව, එරවන දූව, ගෝනදූව, මිරල දූව, අප්පල දූව, ගල්මන්දුව, මඩ දුව ආදී දූපත් හඳුනා ගත හැකිය.
කොත්දූව රජ මහා විහාරය පිහිටි “කොත්දූව”
සහ කුරුඳු කර්මාන්තය සිදු කෙරෙන දූපත මෙම දූපත් අතරින් සංචාරකයන් අතර සුවිශේෂී
ආකර්ශනයක් වේ. කෙසේ වුවත් අතීතයේ මෙහි දූපත් 64ක් පැවති බවට ආනන්ද රාජකරුණා
ශූරීන්ගේ පහත කවිය ද සාක්ෂි දරයි.
“නිල්
මල් බිසව් කෙළිනා මාදු ගගේ
දූපත් හැට හතර මාලෙක මැණික් වගේ
අතරින් පතර තැන් තැන් වල ඉවුර දිගේ
දාගැබ් පෙලින් ඇති වුණු ලස්සනක අගේ”
මාදු
ගඟ පිළිබඳව බොහෝ දෙනා නොදත් පැතිකඩ නම් එහි ඓතිහාසික පසුබිමයි. මාදුගග ආශ්‍රිතව
ගෙතුණු ජනප්‍රවාද ද රැසකි. මෙහි ඓතිහාසික පසුබිම ගතහොත් සාහිත්‍ය ග්‍රන්ථ වල
වැලිතර වැලිතොට යන නම් වලින් හැඳින්වෙන මෙහි දෙවන පරාක්‍රමබාහු රජ සමයේ දී දේවපතිරාජ
අමාත්‍යවරයා මෙරට ආක්‍රමණයට වැලිතොට තොටමුණට පැමිණි ජාවක හමුදාව පරාජය කිරිම සඳහා
බල සේනා සමඟ රැඳී සිටි බවත් එම නිසා බලපිටිය වූ බවත් සැලකෙන අතර ලක්දිවට දළදා වහන්සේ
රැගෙන ආ හේමමාලා කුමරිය හා දන්ත කුමරු මහසෙන් රජ සමයේදී අනුරාධපුරයට නොගොස් දකුණු වෙරළේ
වැලිනදී තොටමුණෙන් කොත්දුවට වැඩමවා සිට කිත්සිරි මෙවන් රජු සිහසුනට පත්වු පසු නැවත
ගිය බව ද, කෝට්ටේ වීදිය බණ්ඩාර රජ සමයේ එක් අවස්ථාවකදී ද දළදා වහන්සේ කොත්දූවට
වැඩම කරවු බවද ජනප්‍රවදයේ පවතින තවත් විශ්වාසයකි. කොත්දූව රජ මහා විහාරයේ
විහාරාධිපති ඕමන්තේ පුඤ්ඤසාර හිමියන් ප්‍රකාශ කරන්නේ එලෙස දන්ත ධාතූන් වහන්සේ
දෙවරක් වැඩමවූ ලක්දිව එකම ස්ථානය මෙය බවයි. එමෙන්ම කොත්දූව විහාරයේ විරාජමානව වැඩ
වසන අනුරාධපුර යුගයේ රෝපණය කරන ලද වසර 2320ක් පැරණි ශ්‍රී මහා බොධියේ ශාඛාව සමස්ථ
මාදු ගඟ ප්‍රදේශයේ ම ඓතිහාසික වටිනාකම තීව්‍ර කරයි. එබැවින් මාදු ගඟ පිළිබඳ කතාකරන
විට කොත්දූවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
No comments:
Post a Comment