Thursday, July 26, 2018

යන්න..අත්විදින්න ලංකාවේ අසිරිය..


මාදු ග‍ඟේ බෝට්ටු සෆාරියක අසිරිය

                                           දුම්රියෙන් ගමන් ගන්නෙකුට කොළඹ සිට ගාල්ල බලා යන දුම්රියක නැගී අලුත්ගම දුම්රිය ස්ථානයෙන් බැස අම්බලංගොඩ බලා දිවෙන බස් රථ මගින් සහ බස් සේවා භාවිතා කරන්නෙකුට කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වන බස් රථ ඔස්සේ පැය 2ක පමණ කාලයකින් ද, පෞද්ගලික ප්‍රවාහන මාධ්‍ය යොදාගන්නෙකුට කොළඹ-ගාල්ල අධිවේගි මාර්ගය හරහා කුරුඳුගහ හැතැක්ම පිටවීම් දොරටුවෙන් පිටව 15km ක් පමණ දුරක් ගෙවා පැයකට අඩු කාල සීමාවකින් ද අප මේ කතාකරන සොඳුරු බෝට්ටු සෆාරි අත්දැකීම විඳගැනීම සඳහා බලපිටිය මාදු මාදු ගඟ පරිශ්‍රයට ලඟා විය හැකිය. මෙම ප්‍රවේශ මාර්ග තෝරාගන්නෙකුට විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ නම් මාදු ගඟ වෙත සංචාරය කරන්නෙකුට හොඳම ප්‍රවේශ මාර්ගය වු කලී කොළඹ සිට ගාල්ල බලා දිවෙන දුම්රියන් බවයි. ඒ මක්නිසාද යත් දුම්රියෙන් ගමන් ගන්නෙකුට දැකගැනීමට ලැබෙන දකුණු වෙරළ තීරයේ සොඳුරු දර්ශනය විඳගැනීමට අවස්ථාව ලැබීමයි. දුම්රිය ප්‍රවේශ මාර්ගය තෝරාගත් අප කණ්ඩායමටද එහි සුන්දරත්වය දෑසින් ව්ඳගැනීමට සැබැවින්ම වාසනාව ලැබුනි.

එලෙස බලපිටියට පැමිණෙන්නෙකුට  කලින් වෙන් කරවා ගත්  පැකේජයක් ඔස්සේ හෝ බලපිටිය පාලම ආසන්නයේ පිහිටි බෝට්ටු සේවා ආයතන මගින් ඒ මොහොතේ මුදල් ගෙවීමෙන් හෝ බෝට්ටු සේවා ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතර මෙහිදී දෙවන ක්‍රමය භාවිතා කළ අප මේ ආශ්‍රිතව ක්‍රියාත්මක වන බෝට්ටු සේවා ආයතන  අතරින් මාදු ග‍ඟේ අපුර්ව සවාරියක අත්දැකීම විඳගැනීම උදෙසා තෝරාගත්තේ Nilwala river safari ආයතනයයි.

පැකේජය සඳහා වන මුදල් ගෙවීමෙන් පසුව ජීවිතාරක්ෂක කබා ලබාදෙන අතර එක් බෝට්ටුවක් සඳහා එහි ආසන ප්‍රමාණයට අනුව සංචාරකයන් නැංවීමෙන් පසුව බෝට්ටු සේවා ආයතනය විසින් ලබාදෙන රියදුරු විසින්  බෝට්ටු සෆාරිය ආරම්භ කරයි. චාරිකාව ආරම්භයේ සිටම අපට දර්ශනය වන්නේ කොළ පැහැති ජලය සහිත මාදු ගංගාව සහ ඒ දෙපස වු අලංකාර කඩොලාන ප්‍රජාවයි. ජලයේ කොළ පැහැයත්, කඩොලාන ශාකයන්ගේ කොළ පැහැයත් එක්වූ කල හාත්පසම දිස්වන්නේ හරිතවර්ණයෙන් හැඩවු අලංකාර දර්ශනයකිමේ ආකාරයට මද දුරක් යන විට අපේ නෙත ගැටෙන්නේ කඩොලාන ශාක වලින් උඩු වියනක් ලෙස නිර්මාණය වු කඩොලාන ගුහාවක් යැයි පැවසුව හොත් නිවැරදිය. බෝට්ටු චාරිකාව ඊළඟට ගමන් ගන්නේ ඒ හරහාය. මෙතුලින් ගමන් කිරීමේදී ගතට මෙන්ම සිතට ද දැනෙන්නේ සුවදායී සිසිල් බවකි. දෙපස පිහිටි කඩොලාන ශාක, ජලයෙන් ඉහලට පැමිණි කඩොලාන මුල් සහ හිසට ඉහලින් වියනක් ලෙස නිර්මානය වූ කඩොලාන අතු පතර බෝට්ටු චාරිකාවේ චමත්කාරය සහ ආරම්භයේ පටන්ම කියා පායි. එපමණක් නොව මෙම කඩොලාන ගුහා ආශ්‍රිතව දිවි ගෙවන කොරවක්කන් පිළිහුඩුවන් වැනි කුඩා පක්ෂීන් ද, ජලයේ ජීවත් වන කුඩා මසුන් ද  මේ අතරතුරදී අපට දර්ශනය විය.
පෙර කී කඩොලාන ගුහාවෙන් පිටතට පැමිණි විට අප නැවතත්  පිවිසෙන්නේ දෙපසින් කඩොලාන සහිත ගංගාව වෙතයි. විශේෂයෙන්ම මේ ආශ්‍රිතව වගුරු ආශ්‍රිතව වැඩෙන තාල වර්ගයව අයත් එකම කඩොලාන ශාකය වන ගිං පොල් ශාකය ගඟ දෙපස වැඩි තිබෙන අයුරු දැකගත හැකිය.එමෙන්ම මෙලෙස ඉදිරියට ඇදෙන විට අප පසුකර යන තවත් සංචාරක බෝට්ටු සහ චාරිකාව නිමකර ආපසු පැමිණෙන සංචාරක බෝට්ටු හමුවන අතර මාදු ගඟ සංචාරකයන් අතර කෙතරම් ජනප්‍රිය ද යන වගට ඒවා සාක්ෂි දරන බව අපට සිතුනි.
                    මේ ආකාරයට ගඟ දෙපස කඩොලාන නරඹමින් ඉදිරියට යන අපට ඊළඟට හමුවන්නේ මාදු ග‍ඟේ බෝට්ටු චාරිකාවක යෙදෙන සංචාරකයෙකුට අත්විඳිමට ලැබෙන සුවිශේෂීම අත්දැකිමක් යැයි පැවසීම නිවැරදිය.එනම් මාලු සම්බාහන මධ්‍යස්ථානයයි. එක් එක් බෝට්ටු සේවා වලට වෙන්වු මාලු සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක්ම මේ ආශ්‍රිතව දැකගත හැකිය. මෙහිදි චාරිකා ගාස්තු වලට අමතර රු.200ක පමණ මුදලකට විනාඩි 20ක පමණ කාලයක් මාලු සම්බාහනය ලබාගැනීමට සංචාරකයාට අවස්ථාව ලැබෙන අතර මෙම මධ්‍යස්ථානය බාරව කටයුතු කරන්නාගෙන් දැනගත් කරුණු වලට අනුව මේ සඳහා යොදා ගන්නේ රතු තිලාපියා සහ කළු තිලාපියා යන මසුන් වේ.  මෙම අත්දැකීම ශ්‍රී ලංකාවේ වෙනත් ස්ථාන වලදි ලබාගැනිමට අපහසු දුර්ලභ අත්දැකිමක් වන නිසාත්, එයින් ලැබෙන සුවදායි බව නිසාත් සැබැවින්ම මෙය අපූර්ව අත්දැකීමක් වූ බව නොකියාම බැරිය.
                                          ඉන් අනතුරුව නැවතත් චාරිකාව ආරම්භ වන අතර දෙපස ඇති කඩොලාන නරඹමින් ඉදිරියට යන විට පාලම් කිහිපයක් ද හමුවේ. එමෙන්ම මාදු ගඟ ආශ්‍රිතව ජලයෙන් ඉහළට මතුවී පෙනෙන කඩොලාන මුල් සහ ලී දඬුමත පිමාපත් විහිදාගෙන අව්ව තපින දියකාවන්, මසුන් ඩැහැගෙන පියඹා යන පිළිහුඩුවන්, ගස් මත වාසය කරන කොකුන් මෙන්ම ගං ඉවුර අසබඩ ආහාර සොයන කබරගොයා වැනි සතුන් මාදු ගඟේ ජෛව විවිධත්වය පසක් කරයි.


මෙලෙස මාදු ගඟේ සුන්දරත්වය නරඹමින් ඉදිරියට ඇදෙන විට කුරුඳු දූපතකට පියනැගීමට අවස්ථාව ලැබීම ඊළඟට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. මෙහිදී මාදු ගඟ ආශ්‍රිතව කුරුඳු නිෂ්පාදනයේ නිමුතු පුද්ගලයන් හමුවිමට මෙන්ම කුරුඳු ශාක සිටුවීමේ පටන් කුරුඳු පොතු ලබා ගැනීම දක්වා වූ කුරුඳු කර්මාන්තයේ සියලු තතු සියැසින් දැකබලා ගැනිමට අවස්ථාව ලැබේ. එපමණක් නොව උසස් තත්වයේ කුරඳු පොතු, තෙල්, කුරුඳු කුඩු මිළයට ගැනීමටද කදිම අවස්ථාවක් ලැබේ. මෙම කර්මාන්තයේ නියුතු ගම් වැසියෙක් අප සමඟ පවසා සිටියේ කුරුඳු මිළයට ගැනීම සඳහා බහුතරයක්ම යොමුවන්නේ අරාබි ජාතිකයන් බවයි. අප එහි පිවිසෙන විටත් අරාබි යුවලක් කුරුඳු රැගෙන පිටව යන ආකාරය අපට දැක ගත හැකි විය.  සාමාන්‍යයෙන් දේශීය සංචාරකයෙකුට නම් රු.200/= ක පමණ මිළකටත් විදේශිකයෙකුට නම් රු.400/= ක පමණ මිළකටත් මෙම කුරුඳු නිෂ්පාදන අලෙවි කරන බව ඔවුන් අප සමඟ පැවසිය. එමෙන්ම මෙහි යන සෑම සංචාරකයෙකුටම නොමිලේ කුරුඳු පානයක රස බැලිමට අවස්ථාව ලැබීම රසවත් අත්දැකීමකි
කුරුඳු දුපතෙන් සමුගෙන නැවතත් ගමනට අවතීර්ණ වී ඉදිරියට ඇදෙන විට බට පතුරු යොදා ගනිමින් ගංගාව තුළ වැටවල් කොටු වැනි දෑ සකස් කර තිබෙන අයුරු දැක ගත හැකිය. ඒවා නම් මාදු ගඟ ආශ්‍රිත දූපත් වල වෙසෙන ජනයාගේ සාම්ප්‍රධායික ධීවර උපක්‍රමයකි. ඔවුන්ගෙන් අසා දැනගත් පරිදි මෙය ජාකොටු ක්‍රමය නම් වන අතර රාත්‍රී කාලයේ මෙම කුඩා කොටු තුළ ලාම්පුවක් දල්වන බවත් එහි ආලෝකය සඳ එළිය යැයි සිතා රැවටෙන මත්ස්‍යයන් මේ වෙත ඇදි එන බවත් මෙහි ධීවර කර්මාන්තයේ නියුතු ධීවරයෙක් අප සමඟ පැවසීය.මෙරට  සාම්ප්‍රධායික ධීවර කර්මාන්තය පිළිබඳ නොදත් විදේශිකයන්ට පමණක් නොව දේශීයයන් වන අපටත් මෙය අධ්‍යාපනික වශයෙන් ද වැදගත් අත්දැකීමකි. මීට අමතරව ගංගාවේ තැනින් තැන පාවෙන සුදු පැහැති ඍජිෆෝම් කැබලි ද දැකගත හැකි අතර ඒ පිළිබඳ විමසූ විට අප සමග ගිය රියදුරු මහතා පවසා සිටියේ ඒ කකුළුවන් ඇල්ලීම සඳහා යොදන උපක්‍රමයක් බවයි.
මේ ආකාරයක බෝටු චාරිකාවේ යෙදෙන අපට දැකගැනීමට ලැබුණු තවත් දර්ශනයක් නම් ගං දිය මත නිරිමාණය කරන ලද කුඩා වෙළඳසැල්ය. මේවා මේ ආශ්‍රිත ජනයා විසින් පවත්වාගෙන යන අතර සංචාරකයා වෙත  තැඹිළි, කුරුමුබා සහ බිම වර්ග වැනි කුඩා ආහාර පාන විකිණීම මෙහිදි සිදුවේ.


                                            මාදු ගඟේ සංචාරය තුළදි ඊළඟට හමුවන වැදගත්ම ස්ථානය නම් මාදු ගඟේ විශාලතම දූපත වන මා දූව යි. අප අසා දැනගත් කරුඛු වලට අනුව මෙම දූපත තුළ පවුල් 350ක් පමණ දිවි ගෙවන අතර ලංකාවේ දිගම පාලම් අතරින් 1ක් වන  මා දුව වෙත නිරිමාණය කර තිබෙන පාලම දැකගැනීමටද මෙහිදී අවස්ථාව ලැබේ. මිදූව පිළිබඳ අධ්‍යයනය කිරීමට අවැසි විද්‍යාර්ථයන්ට බෝට්ටු සේවා දැනුවත් කිරිම මගින් මේ වෙත ගොඩබැසීමටද අවස්ථාව ලබාගත හැකි අතර එහිදී එහි ජනයා සමඟ කතා බහ කිරීමට, මාදූව විහාරස්ථානය දැකබලා ගැනිමට ද අවස්ථාව අපට හිමිවිය. මාදූව විහාරස්ථානය ගතහොත් වසර 600ක් පමණ පැරණි බෝධීන් වහන්සේ නමක් සහ වසර දහසක් පමණ පැරණි වැසිකිළි ගලක් ද ඒ ආසන්නයේ දැකගත හැකිය.
                                           මාදූව පසුකර යන විට තවත් දූපත් කිහිපයක්ම දැකගැනීමට අවස්ථාව ලැබෙන අතර ඊළඟට අපට හමුවන්නේ මාදු ගඟේ වටිනාකම සහ අලංකාරත්වය ඔප්නංවන කොත් දූව රජමහා විහාරයයි. මාදු ගඟ පිළිබද ආරම්භක විස්තරයේ සඳහන් ආකාරයටම ඓතිහාසික වශයෙන් ඉහළ වැදගත්කමක් මෙම විහාරස්ථානයට හිමිවන අතරමෙම ඈතින් බලන විට මෙම විහාරස්ථානය ඉතාමත් තේජාන්විත දසුනක් මවාලයි. මෙම විහාරය වැඳපුදා ගැනීමට මෙන්ම වසර 1200 පමණ පැරණි බෝධීන් වහන්සේ සහ මෙරට විශාලතම සැතපෙන තිවංක පිළිමය දැකබලා ගැනීමට ද අවස්ථාව ලැබෙන අතර මෙහි විහාරාධාපති හිමියන් ප්‍රකාශ කර සිටියේ මාදු ගඟ වෙත සංචාරය පිණිස පැමිණෙන සෑම දෙනෙක්ම පාහේ මෙම විහාරය වෙත පැමිනෙන බවත් එසේ වූවද මාදු ගග වෙත සංචාරකයන් රැගෙන එන මාර්ගෝපදේශකයන්ගේ බොහෝ දුර්වලතා පවතින බවත්ය. විශේෂයෙන්ම මෙම විහාරස්ථානය ආශ්‍රිතව හීලෑ දඬු ලේනෙකු දක්නට ලැබේ.
                                  කොත්දූවෙන් පිටත්ව අප යොමුවන්නේ සතපහේ දූව වෙතයි. මේ වෙත යන ගමනේදී මලින් පිරී තිබූ කඩොලාන ශාක අපේ නෙත් වලට එක් කරන්නේ රසඳුනකි. එමෙන්ම මාදු ගඟට පමණක් සුවිශේෂී වන රත්මිල්ල නම් කඩොලාන විශේෂයද දැකගැනීමට අවස්ථාව ලැබීම සුවිශේෂී වේ. මෙම දර්ශන පසුකරමින් යන විට අපට හමුවන්නේ සතපහේ දුවයි. මාදු ගඟේ දූපත් අතරින් කුඩාම දූපත වන මෙය කළුගලින් නිර්මිත වුවක් වන අතර අතීතයේ ශිව දෙවාලයක් පැවති බවත් සුනාමි ව්‍යවසනයෙන් පසු විනාශ වූ බවත් දැනගත හැකි විය. නමුත් ශිව දේවාලයේ නටඹුන් තවමත් ඉතිරිව පවතීමෙයට සතපහේ දූව යන නම ලැබුනේ අතීතයේ පුද්ගලයෙකු මෙම දූපත ශත 5කට මිළට ගත් බැවින් යැයි ජනප්‍රවාදයක් පවතින බව අප සමඟ ගිය රියදුරු මහතා ප්‍රකාශ කළේය.
ඉන් පසුව අපට හමුවන්නේ කුරුළු දූපතයි. අප සමග ගිය රියදුරු මහතා පවසා සිටියේ සවස 6 පමණ වන විට මෙම දූපත පක්ෂීන්ගෙන් වැසී යන බවයි. දූපතේ ශාක වසාගෙන විසිර තිබූ පක්ෂීන්ගේ වසුරු ඔහුගේ කියමන සත්‍යයක් බවට සාක්ෂි දැරීය.

                     කුරුළු දූපත නැරඹීමෙන් අනතුරුව සොඳුරු මාදු ගඟේ චාරිකාව නිම කරමින් ආපසු යාමට කාලය එළඹෙන අතර ආපසු යන ගමනේදී අපට නැවතත් ගමනාරම්භයේ හමුවූවාටත් වඩා දිගු සොබා සෞන්දර්යයෙන් පිරුණු කඩොලාන ගුහාවකට පිවිසීමට අවස්ථාව ලැනෙ අතර එහි සුන්දරත්වය ද විඳ ගනිමින් චාරිකාවේ අවසානය සනිටුහන් කිරීම සඳහා අප සමඟ ගිය රියදුරු මහතා අපව රැගෙන ගියේ මාදු ගඟ ඉන්දියන් සාගරයට එක් වන මාදු ගං මෝය වෙතයි. ගඟක් මුහුදට වැවෙන ස්ථානය ගං මෝය වශයෙන් අප උගෙන තිබුනද එය පියවි ඇසින් ඉතා ළඟින් දැකගැනීමට ලැබෙන අවස්ථාව ඉතා සුවිශේෂී විය.
මේ ආකාරයට මාදු ගඟේ බෝට්ටු චාරිකාවකදී අප ලද සහ එහි යන සංචාරකයෙකුට ලබාගැනීමට අවස්ථාව ලැබෙන වචනයෙන් කියා නිම කල නොහැකි සොබාදම් මාතාවගේ අපූර්ව නිරිමාණයක අසිරිය මෙලෙස සටහන් තැබිය හැකි අතර මෘදු ත්‍රාසජනක සංචාරයක අත්දැකීම ද ලබාගනිමින් සැබැවින්ම වින්දනය කල හැකි චාරිකාවක් ලෙස මාදු ගඟ ආශ්‍රිතව සිදු කෙරෙන බෝට්ටු සෆාරි හැඳින්විය හැකිය.
                                                      එමෙන්ම මාදු ගඟ වෙත සංචාරය කරන්නෙකුට විශේෂයෙන්ම පැවසිය යුතුම කරුණ නම් ඒ සඳහා හොඳම කාලය පෙ.ව 9.00-11.00 අතර කාලය සහ සවස් කාලයේ 3.00-5.00 අතර කාලය බවයි. ඒ මක් නිසාද යත් දැඩි හිරු රශ්මියෙන් බේරී ඒ අශ්‍රිතව දිවිගෙවන සත්ත්ව ප්‍රජාව බහුතරයක් නරඹමින් හොඳ චාරිකාවක අසිරිය විඳ ගැනීම සඳහා දවසේ හොඳම කාලය එය වන බැවිනි.සමස්ථයක් ලෙස ගත් කල මාදු ගඟ බෝට්ටු සෆාරි වූ කලී සොබාදහමේ අපූර්වත්වය වින්දනය කරන්නෙකුට ශ්‍රී ලංකාවේ හොඳම ස්ථානයකි.

 

3 comments:

පෙම....

                                                    නෙතු අතර ඇති                                                     හදවතේ රැඳී  ...