Saturday, August 4, 2018

පෙම....




                                                   නෙතු අතර ඇති 
                                                   හදවතේ රැඳී 
                                                   ඒ කුළුඳුල් හොඳම පෙම
                                                   මන්ද ඔබ නොහඳුනන්....

                                                   හඩනමුත් මගෙ හද
                                                   ඔබෙ ඔය වදන් අග
                                                   බලා ඉන්නම් මං 
                                                   කවදා හෝ ඔබ එනතුරා
                                                   ඔබේ හොඳම තේරීම සොයා...
                                                                                                 (ඉන්දර්)

Thursday, July 26, 2018

යන්න..අත්විදින්න ලංකාවේ අසිරිය..


මාදු ග‍ඟේ බෝට්ටු සෆාරියක අසිරිය

                                           දුම්රියෙන් ගමන් ගන්නෙකුට කොළඹ සිට ගාල්ල බලා යන දුම්රියක නැගී අලුත්ගම දුම්රිය ස්ථානයෙන් බැස අම්බලංගොඩ බලා දිවෙන බස් රථ මගින් සහ බස් සේවා භාවිතා කරන්නෙකුට කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වන බස් රථ ඔස්සේ පැය 2ක පමණ කාලයකින් ද, පෞද්ගලික ප්‍රවාහන මාධ්‍ය යොදාගන්නෙකුට කොළඹ-ගාල්ල අධිවේගි මාර්ගය හරහා කුරුඳුගහ හැතැක්ම පිටවීම් දොරටුවෙන් පිටව 15km ක් පමණ දුරක් ගෙවා පැයකට අඩු කාල සීමාවකින් ද අප මේ කතාකරන සොඳුරු බෝට්ටු සෆාරි අත්දැකීම විඳගැනීම සඳහා බලපිටිය මාදු මාදු ගඟ පරිශ්‍රයට ලඟා විය හැකිය. මෙම ප්‍රවේශ මාර්ග තෝරාගන්නෙකුට විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ නම් මාදු ගඟ වෙත සංචාරය කරන්නෙකුට හොඳම ප්‍රවේශ මාර්ගය වු කලී කොළඹ සිට ගාල්ල බලා දිවෙන දුම්රියන් බවයි. ඒ මක්නිසාද යත් දුම්රියෙන් ගමන් ගන්නෙකුට දැකගැනීමට ලැබෙන දකුණු වෙරළ තීරයේ සොඳුරු දර්ශනය විඳගැනීමට අවස්ථාව ලැබීමයි. දුම්රිය ප්‍රවේශ මාර්ගය තෝරාගත් අප කණ්ඩායමටද එහි සුන්දරත්වය දෑසින් ව්ඳගැනීමට සැබැවින්ම වාසනාව ලැබුනි.

එලෙස බලපිටියට පැමිණෙන්නෙකුට  කලින් වෙන් කරවා ගත්  පැකේජයක් ඔස්සේ හෝ බලපිටිය පාලම ආසන්නයේ පිහිටි බෝට්ටු සේවා ආයතන මගින් ඒ මොහොතේ මුදල් ගෙවීමෙන් හෝ බෝට්ටු සේවා ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතර මෙහිදී දෙවන ක්‍රමය භාවිතා කළ අප මේ ආශ්‍රිතව ක්‍රියාත්මක වන බෝට්ටු සේවා ආයතන  අතරින් මාදු ග‍ඟේ අපුර්ව සවාරියක අත්දැකීම විඳගැනීම උදෙසා තෝරාගත්තේ Nilwala river safari ආයතනයයි.

පැකේජය සඳහා වන මුදල් ගෙවීමෙන් පසුව ජීවිතාරක්ෂක කබා ලබාදෙන අතර එක් බෝට්ටුවක් සඳහා එහි ආසන ප්‍රමාණයට අනුව සංචාරකයන් නැංවීමෙන් පසුව බෝට්ටු සේවා ආයතනය විසින් ලබාදෙන රියදුරු විසින්  බෝට්ටු සෆාරිය ආරම්භ කරයි. චාරිකාව ආරම්භයේ සිටම අපට දර්ශනය වන්නේ කොළ පැහැති ජලය සහිත මාදු ගංගාව සහ ඒ දෙපස වු අලංකාර කඩොලාන ප්‍රජාවයි. ජලයේ කොළ පැහැයත්, කඩොලාන ශාකයන්ගේ කොළ පැහැයත් එක්වූ කල හාත්පසම දිස්වන්නේ හරිතවර්ණයෙන් හැඩවු අලංකාර දර්ශනයකිමේ ආකාරයට මද දුරක් යන විට අපේ නෙත ගැටෙන්නේ කඩොලාන ශාක වලින් උඩු වියනක් ලෙස නිර්මාණය වු කඩොලාන ගුහාවක් යැයි පැවසුව හොත් නිවැරදිය. බෝට්ටු චාරිකාව ඊළඟට ගමන් ගන්නේ ඒ හරහාය. මෙතුලින් ගමන් කිරීමේදී ගතට මෙන්ම සිතට ද දැනෙන්නේ සුවදායී සිසිල් බවකි. දෙපස පිහිටි කඩොලාන ශාක, ජලයෙන් ඉහලට පැමිණි කඩොලාන මුල් සහ හිසට ඉහලින් වියනක් ලෙස නිර්මානය වූ කඩොලාන අතු පතර බෝට්ටු චාරිකාවේ චමත්කාරය සහ ආරම්භයේ පටන්ම කියා පායි. එපමණක් නොව මෙම කඩොලාන ගුහා ආශ්‍රිතව දිවි ගෙවන කොරවක්කන් පිළිහුඩුවන් වැනි කුඩා පක්ෂීන් ද, ජලයේ ජීවත් වන කුඩා මසුන් ද  මේ අතරතුරදී අපට දර්ශනය විය.
පෙර කී කඩොලාන ගුහාවෙන් පිටතට පැමිණි විට අප නැවතත්  පිවිසෙන්නේ දෙපසින් කඩොලාන සහිත ගංගාව වෙතයි. විශේෂයෙන්ම මේ ආශ්‍රිතව වගුරු ආශ්‍රිතව වැඩෙන තාල වර්ගයව අයත් එකම කඩොලාන ශාකය වන ගිං පොල් ශාකය ගඟ දෙපස වැඩි තිබෙන අයුරු දැකගත හැකිය.එමෙන්ම මෙලෙස ඉදිරියට ඇදෙන විට අප පසුකර යන තවත් සංචාරක බෝට්ටු සහ චාරිකාව නිමකර ආපසු පැමිණෙන සංචාරක බෝට්ටු හමුවන අතර මාදු ගඟ සංචාරකයන් අතර කෙතරම් ජනප්‍රිය ද යන වගට ඒවා සාක්ෂි දරන බව අපට සිතුනි.
                    මේ ආකාරයට ගඟ දෙපස කඩොලාන නරඹමින් ඉදිරියට යන අපට ඊළඟට හමුවන්නේ මාදු ග‍ඟේ බෝට්ටු චාරිකාවක යෙදෙන සංචාරකයෙකුට අත්විඳිමට ලැබෙන සුවිශේෂීම අත්දැකිමක් යැයි පැවසීම නිවැරදිය.එනම් මාලු සම්බාහන මධ්‍යස්ථානයයි. එක් එක් බෝට්ටු සේවා වලට වෙන්වු මාලු සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක්ම මේ ආශ්‍රිතව දැකගත හැකිය. මෙහිදි චාරිකා ගාස්තු වලට අමතර රු.200ක පමණ මුදලකට විනාඩි 20ක පමණ කාලයක් මාලු සම්බාහනය ලබාගැනීමට සංචාරකයාට අවස්ථාව ලැබෙන අතර මෙම මධ්‍යස්ථානය බාරව කටයුතු කරන්නාගෙන් දැනගත් කරුණු වලට අනුව මේ සඳහා යොදා ගන්නේ රතු තිලාපියා සහ කළු තිලාපියා යන මසුන් වේ.  මෙම අත්දැකීම ශ්‍රී ලංකාවේ වෙනත් ස්ථාන වලදි ලබාගැනිමට අපහසු දුර්ලභ අත්දැකිමක් වන නිසාත්, එයින් ලැබෙන සුවදායි බව නිසාත් සැබැවින්ම මෙය අපූර්ව අත්දැකීමක් වූ බව නොකියාම බැරිය.
                                          ඉන් අනතුරුව නැවතත් චාරිකාව ආරම්භ වන අතර දෙපස ඇති කඩොලාන නරඹමින් ඉදිරියට යන විට පාලම් කිහිපයක් ද හමුවේ. එමෙන්ම මාදු ගඟ ආශ්‍රිතව ජලයෙන් ඉහළට මතුවී පෙනෙන කඩොලාන මුල් සහ ලී දඬුමත පිමාපත් විහිදාගෙන අව්ව තපින දියකාවන්, මසුන් ඩැහැගෙන පියඹා යන පිළිහුඩුවන්, ගස් මත වාසය කරන කොකුන් මෙන්ම ගං ඉවුර අසබඩ ආහාර සොයන කබරගොයා වැනි සතුන් මාදු ගඟේ ජෛව විවිධත්වය පසක් කරයි.


මෙලෙස මාදු ගඟේ සුන්දරත්වය නරඹමින් ඉදිරියට ඇදෙන විට කුරුඳු දූපතකට පියනැගීමට අවස්ථාව ලැබීම ඊළඟට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. මෙහිදී මාදු ගඟ ආශ්‍රිතව කුරුඳු නිෂ්පාදනයේ නිමුතු පුද්ගලයන් හමුවිමට මෙන්ම කුරුඳු ශාක සිටුවීමේ පටන් කුරුඳු පොතු ලබා ගැනීම දක්වා වූ කුරුඳු කර්මාන්තයේ සියලු තතු සියැසින් දැකබලා ගැනිමට අවස්ථාව ලැබේ. එපමණක් නොව උසස් තත්වයේ කුරඳු පොතු, තෙල්, කුරුඳු කුඩු මිළයට ගැනීමටද කදිම අවස්ථාවක් ලැබේ. මෙම කර්මාන්තයේ නියුතු ගම් වැසියෙක් අප සමඟ පවසා සිටියේ කුරුඳු මිළයට ගැනීම සඳහා බහුතරයක්ම යොමුවන්නේ අරාබි ජාතිකයන් බවයි. අප එහි පිවිසෙන විටත් අරාබි යුවලක් කුරුඳු රැගෙන පිටව යන ආකාරය අපට දැක ගත හැකි විය.  සාමාන්‍යයෙන් දේශීය සංචාරකයෙකුට නම් රු.200/= ක පමණ මිළකටත් විදේශිකයෙකුට නම් රු.400/= ක පමණ මිළකටත් මෙම කුරුඳු නිෂ්පාදන අලෙවි කරන බව ඔවුන් අප සමඟ පැවසිය. එමෙන්ම මෙහි යන සෑම සංචාරකයෙකුටම නොමිලේ කුරුඳු පානයක රස බැලිමට අවස්ථාව ලැබීම රසවත් අත්දැකීමකි
කුරුඳු දුපතෙන් සමුගෙන නැවතත් ගමනට අවතීර්ණ වී ඉදිරියට ඇදෙන විට බට පතුරු යොදා ගනිමින් ගංගාව තුළ වැටවල් කොටු වැනි දෑ සකස් කර තිබෙන අයුරු දැක ගත හැකිය. ඒවා නම් මාදු ගඟ ආශ්‍රිත දූපත් වල වෙසෙන ජනයාගේ සාම්ප්‍රධායික ධීවර උපක්‍රමයකි. ඔවුන්ගෙන් අසා දැනගත් පරිදි මෙය ජාකොටු ක්‍රමය නම් වන අතර රාත්‍රී කාලයේ මෙම කුඩා කොටු තුළ ලාම්පුවක් දල්වන බවත් එහි ආලෝකය සඳ එළිය යැයි සිතා රැවටෙන මත්ස්‍යයන් මේ වෙත ඇදි එන බවත් මෙහි ධීවර කර්මාන්තයේ නියුතු ධීවරයෙක් අප සමඟ පැවසීය.මෙරට  සාම්ප්‍රධායික ධීවර කර්මාන්තය පිළිබඳ නොදත් විදේශිකයන්ට පමණක් නොව දේශීයයන් වන අපටත් මෙය අධ්‍යාපනික වශයෙන් ද වැදගත් අත්දැකීමකි. මීට අමතරව ගංගාවේ තැනින් තැන පාවෙන සුදු පැහැති ඍජිෆෝම් කැබලි ද දැකගත හැකි අතර ඒ පිළිබඳ විමසූ විට අප සමග ගිය රියදුරු මහතා පවසා සිටියේ ඒ කකුළුවන් ඇල්ලීම සඳහා යොදන උපක්‍රමයක් බවයි.
මේ ආකාරයක බෝටු චාරිකාවේ යෙදෙන අපට දැකගැනීමට ලැබුණු තවත් දර්ශනයක් නම් ගං දිය මත නිරිමාණය කරන ලද කුඩා වෙළඳසැල්ය. මේවා මේ ආශ්‍රිත ජනයා විසින් පවත්වාගෙන යන අතර සංචාරකයා වෙත  තැඹිළි, කුරුමුබා සහ බිම වර්ග වැනි කුඩා ආහාර පාන විකිණීම මෙහිදි සිදුවේ.


                                            මාදු ගඟේ සංචාරය තුළදි ඊළඟට හමුවන වැදගත්ම ස්ථානය නම් මාදු ගඟේ විශාලතම දූපත වන මා දූව යි. අප අසා දැනගත් කරුඛු වලට අනුව මෙම දූපත තුළ පවුල් 350ක් පමණ දිවි ගෙවන අතර ලංකාවේ දිගම පාලම් අතරින් 1ක් වන  මා දුව වෙත නිරිමාණය කර තිබෙන පාලම දැකගැනීමටද මෙහිදී අවස්ථාව ලැබේ. මිදූව පිළිබඳ අධ්‍යයනය කිරීමට අවැසි විද්‍යාර්ථයන්ට බෝට්ටු සේවා දැනුවත් කිරිම මගින් මේ වෙත ගොඩබැසීමටද අවස්ථාව ලබාගත හැකි අතර එහිදී එහි ජනයා සමඟ කතා බහ කිරීමට, මාදූව විහාරස්ථානය දැකබලා ගැනිමට ද අවස්ථාව අපට හිමිවිය. මාදූව විහාරස්ථානය ගතහොත් වසර 600ක් පමණ පැරණි බෝධීන් වහන්සේ නමක් සහ වසර දහසක් පමණ පැරණි වැසිකිළි ගලක් ද ඒ ආසන්නයේ දැකගත හැකිය.
                                           මාදූව පසුකර යන විට තවත් දූපත් කිහිපයක්ම දැකගැනීමට අවස්ථාව ලැබෙන අතර ඊළඟට අපට හමුවන්නේ මාදු ගඟේ වටිනාකම සහ අලංකාරත්වය ඔප්නංවන කොත් දූව රජමහා විහාරයයි. මාදු ගඟ පිළිබද ආරම්භක විස්තරයේ සඳහන් ආකාරයටම ඓතිහාසික වශයෙන් ඉහළ වැදගත්කමක් මෙම විහාරස්ථානයට හිමිවන අතරමෙම ඈතින් බලන විට මෙම විහාරස්ථානය ඉතාමත් තේජාන්විත දසුනක් මවාලයි. මෙම විහාරය වැඳපුදා ගැනීමට මෙන්ම වසර 1200 පමණ පැරණි බෝධීන් වහන්සේ සහ මෙරට විශාලතම සැතපෙන තිවංක පිළිමය දැකබලා ගැනීමට ද අවස්ථාව ලැබෙන අතර මෙහි විහාරාධාපති හිමියන් ප්‍රකාශ කර සිටියේ මාදු ගඟ වෙත සංචාරය පිණිස පැමිණෙන සෑම දෙනෙක්ම පාහේ මෙම විහාරය වෙත පැමිනෙන බවත් එසේ වූවද මාදු ගග වෙත සංචාරකයන් රැගෙන එන මාර්ගෝපදේශකයන්ගේ බොහෝ දුර්වලතා පවතින බවත්ය. විශේෂයෙන්ම මෙම විහාරස්ථානය ආශ්‍රිතව හීලෑ දඬු ලේනෙකු දක්නට ලැබේ.
                                  කොත්දූවෙන් පිටත්ව අප යොමුවන්නේ සතපහේ දූව වෙතයි. මේ වෙත යන ගමනේදී මලින් පිරී තිබූ කඩොලාන ශාක අපේ නෙත් වලට එක් කරන්නේ රසඳුනකි. එමෙන්ම මාදු ගඟට පමණක් සුවිශේෂී වන රත්මිල්ල නම් කඩොලාන විශේෂයද දැකගැනීමට අවස්ථාව ලැබීම සුවිශේෂී වේ. මෙම දර්ශන පසුකරමින් යන විට අපට හමුවන්නේ සතපහේ දුවයි. මාදු ගඟේ දූපත් අතරින් කුඩාම දූපත වන මෙය කළුගලින් නිර්මිත වුවක් වන අතර අතීතයේ ශිව දෙවාලයක් පැවති බවත් සුනාමි ව්‍යවසනයෙන් පසු විනාශ වූ බවත් දැනගත හැකි විය. නමුත් ශිව දේවාලයේ නටඹුන් තවමත් ඉතිරිව පවතීමෙයට සතපහේ දූව යන නම ලැබුනේ අතීතයේ පුද්ගලයෙකු මෙම දූපත ශත 5කට මිළට ගත් බැවින් යැයි ජනප්‍රවාදයක් පවතින බව අප සමඟ ගිය රියදුරු මහතා ප්‍රකාශ කළේය.
ඉන් පසුව අපට හමුවන්නේ කුරුළු දූපතයි. අප සමග ගිය රියදුරු මහතා පවසා සිටියේ සවස 6 පමණ වන විට මෙම දූපත පක්ෂීන්ගෙන් වැසී යන බවයි. දූපතේ ශාක වසාගෙන විසිර තිබූ පක්ෂීන්ගේ වසුරු ඔහුගේ කියමන සත්‍යයක් බවට සාක්ෂි දැරීය.

                     කුරුළු දූපත නැරඹීමෙන් අනතුරුව සොඳුරු මාදු ගඟේ චාරිකාව නිම කරමින් ආපසු යාමට කාලය එළඹෙන අතර ආපසු යන ගමනේදී අපට නැවතත් ගමනාරම්භයේ හමුවූවාටත් වඩා දිගු සොබා සෞන්දර්යයෙන් පිරුණු කඩොලාන ගුහාවකට පිවිසීමට අවස්ථාව ලැනෙ අතර එහි සුන්දරත්වය ද විඳ ගනිමින් චාරිකාවේ අවසානය සනිටුහන් කිරීම සඳහා අප සමඟ ගිය රියදුරු මහතා අපව රැගෙන ගියේ මාදු ගඟ ඉන්දියන් සාගරයට එක් වන මාදු ගං මෝය වෙතයි. ගඟක් මුහුදට වැවෙන ස්ථානය ගං මෝය වශයෙන් අප උගෙන තිබුනද එය පියවි ඇසින් ඉතා ළඟින් දැකගැනීමට ලැබෙන අවස්ථාව ඉතා සුවිශේෂී විය.
මේ ආකාරයට මාදු ගඟේ බෝට්ටු චාරිකාවකදී අප ලද සහ එහි යන සංචාරකයෙකුට ලබාගැනීමට අවස්ථාව ලැබෙන වචනයෙන් කියා නිම කල නොහැකි සොබාදම් මාතාවගේ අපූර්ව නිරිමාණයක අසිරිය මෙලෙස සටහන් තැබිය හැකි අතර මෘදු ත්‍රාසජනක සංචාරයක අත්දැකීම ද ලබාගනිමින් සැබැවින්ම වින්දනය කල හැකි චාරිකාවක් ලෙස මාදු ගඟ ආශ්‍රිතව සිදු කෙරෙන බෝට්ටු සෆාරි හැඳින්විය හැකිය.
                                                      එමෙන්ම මාදු ගඟ වෙත සංචාරය කරන්නෙකුට විශේෂයෙන්ම පැවසිය යුතුම කරුණ නම් ඒ සඳහා හොඳම කාලය පෙ.ව 9.00-11.00 අතර කාලය සහ සවස් කාලයේ 3.00-5.00 අතර කාලය බවයි. ඒ මක් නිසාද යත් දැඩි හිරු රශ්මියෙන් බේරී ඒ අශ්‍රිතව දිවිගෙවන සත්ත්ව ප්‍රජාව බහුතරයක් නරඹමින් හොඳ චාරිකාවක අසිරිය විඳ ගැනීම සඳහා දවසේ හොඳම කාලය එය වන බැවිනි.සමස්ථයක් ලෙස ගත් කල මාදු ගඟ බෝට්ටු සෆාරි වූ කලී සොබාදහමේ අපූර්වත්වය වින්දනය කරන්නෙකුට ශ්‍රී ලංකාවේ හොඳම ස්ථානයකි.

 

Saturday, July 14, 2018

සංචරනයට රජගල



  

          නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රජගලතැන්න ග්‍රාමයේ පිහිටි මුහුදු මට්ටමේ සිට අඩි 1,038 ක් වන රජගල පුරාවිද්‍යා භූමිය දැනට ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන විශාලතම පුරාවිද්‍යා ස්ථානය ලෙසද හැඳින්විය හැකි අතර අක්කර 1080 පමණ භූමි ප්‍රදේශයක පැතිරුණු මෙම භූමිය තුළ දැනට හඳුනාගෙන ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන නටඹුන් රාශියකි.
       නටඹුන් පිළිබඳව කතා කිරීමේදී නටඹුන් යනු යම් ස්ථානයක් පුරාවිද්‍යාත්මකව හෝ වෙනයම් ආකාරයකින් කෙසේ වැදගත් වන්නේද, අදාල ස්ථානයේ අතීත ස්වභාවය කෙසේද යන වග කියාපාන්නා වූ අතීතයේ කල කී දෑ වලින් ශේෂව පවතින්නා වූ අවශේෂ ලෙස පැවසිය හැකිය. යම් කිසි ස්ථානයක, යම් රටක හෝ ශිෂිටාචාරයක හෝ වේවා ඉතිහාසය වර්ථමාන සමාජය විසින් අනාවරණය කර ගනු ලබන්නේ මේ ආකාරයට යම් යම් ස්ථාන සතුව පවතින්නා වූ අතීත නටඹුන් හරහාය.
                                                                             රජගල පුරාවිද්‍යා භූමිය ගත්තද මෙම භූමිය සතුව පවතින්නා වූ ඓතිහාසිකමය, පුරාවිද්‍යාත්මක වටිනාකම් ,මෙම ස්ථානයේ අතීත තොරතුරු ආදී වු තොරතුරු රාශියක් අනාවරණය කරගෙන ඇත්තේ මෙම ස්ථානයේ කැනීම් වලින් සහ ගවේශනයෙන් සොයා ගනු ලැබු මෙහි පිහිටා ඇති අතීත නටඹුන් හරහා යැයි කිවහොත් නිවැරදිය. එමෙන්ම රජගලතැන්න රජගල කන්දෙහි පිහිටි පැරණි නටඹුන් 600කට වඩා වැඩි ප්‍රමාණයක් සහ අක්කර 1080 ක් පමණ පුරා විහිදී ගිය, පුරාවස්තු ප්‍රමාණය අනූව අනුරාධපුරය මිහින්තලා පුරාවිද්‍යා භූමියට පමණක් දෙවන වන ඓතිහාසික පුදබිමකි.මේ ආකාරයට රජගල නටඹුන් පිළිබඳව අධ්‍යයනය කරන විට

  •       වටිනා සෙල්ලිපි
  •       දාගැබ්,
  •       පොකුණු,
  •      කැසිකිලි
  •       ගල්කණු
  •      ලෙන්
  •      සඳකඩ පහන්
  •      මුරගල්
  •       කොරවක් ගල්
  •     අඩක් නිමකළ හිටි බුදු පිළිමය
  •    දිය පිහිල්ල හා ඒ හා සබැඳි සුවිසල් ශිලාමය පාත්‍රා දෙක
  •    කන්දේ බටහිර බෑවුමේ මධ්‍ය කොටසේ සංකීර්ණයට ජලය සපයන්නා වූ දැනට බිඳී ගිය වැවක්
  •    ප්‍රාථමික ගුහා සිතුවම්

ආදී නටඹුන් රැසක් හමුවේ. ඒවා පහත පරිදි විස්තර කර දැක්විය හැකිය.


සංචරනයට මාදු ගඟ

                               සංචරනයට මාදු ගඟ 

                                 ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  පිහිටි මාදු ගඟ වූ කලී මෙරට ඉතාමත් වටිනා පරිසර පද්ධතියකට උරුමකම් කියන්නා වූත් සුවිශේෂී කඩොලාන ගහනයකින් පොහොසත් වූත් ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයකි. කොළඹ නගරයේ සිට ගාලු ප්‍රදේශයට කිලෝමීටර 81 ක පමණ දුරක් පැමිණීමේදී හමුවන බලපිටිය නගරයේ සිට කි. මී. 67 ක් පමණ නගරය අභ්‍යන්තරයට පිවිසෙන විට හමුවන උස් බිම හැඳින්වෙන්නේ පොල් අතු කන්ද නමිනි. එයින් පැන නඟින ජල උල්පතකින් සෙමෙන් පහළට ගලා බසින සිහින් දිය දහරාව පසුව බොරලැස්ස ඇළ, හීන් ඇළ සහ මාගල ඇළ මගින් පෝෂණය වෙමින් බලපිටිය නගරයේ දී ගංගාවක් ලෙසින් සුන්දර ගං මෝයක් නිර්මාණය කරමින් සාගරයට එකතු වෙයි. අප මාදු ගඟ නමින් හඳුනාගන්නේ මේ කියන ජල ප්‍රවාහයයි.(4.1.1 රූපය-මාදු ගඟේ ව්‍යාප්තිය) හෙක්ටයාර් 770ක පමණ වපසරියක පැතිර ඇති මෙම ජල ප්‍රවාහයත්, හෙක්ටයාර් 915කින් යුත් තෙත් බිමත් එක්වූ මෙම සුවිශේෂී පරිසර පද්ධතිව වූ කලී  2011 වර්ෂයේ දෙසැම්බර් 11 වන දින පටන් ජාත්‍යන්තර රැම්සා ප්‍රඥප්තියෙන් පිළිගත් තෙත් බිමක් වේ. එපමණක් නොව ඉතා ඉහල සත්ත්ව විවිධත්වයක් සහිත අභය භූමියකි.ඒ අනුව ශ්‍රී ලංකාවේ මතු නොව ජාත්‍යන්තර තලයේ අවධානයක් ද හිමි මාදු ගඟ පරිසර ලෝලීන්ට වින්දනාත්මක ස්ථානයක් ලෙසත්, පරිසර වේදීන්ට පර්යේෂණ භූමියක් ලෙසත්, ඉතිහාසඥයින්ට ඓතිහාසික සාධක ඇති අත්පොතක් ලෙසත් දෙස් විදෙස් ආකර්ශනයට ලක්වූ පාරිසරික නිකේතනයකි.
මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන සුවිශේෂි භූගෝලීය පිහිටීමක් ලෙස ඒ අවට පිහිටියා වු දූපත් සමූහය පෙන්වා දිය හැක. හෙක්ටයාර් 770 ක භුමි භාගයක් වසා පැතිරෙන මාදු ගග කලකට ඉහත දී පරිවාර දුපත් 64 කින් පමණ සමන්විතව තිබූ බව සඳහන් වන නමුත් 1997 රුහුණු විශ්ව විද්‍යාල‍යේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශය මගින් කල අධ්‍යයනයක දී සොයා ගැනුනේ සුනාමි ව්‍යවසනය, ජල මට්ටම් ඉහළ යාම, එක ළග ඇති කුඩා දුපත් යාවීම, පස ඛාදනය වීම ආදී කරැණු හේතු කොට ගෙන දූපත් 17 ක් පමණක් ඉතිරිව ඇති බවයි. එහෙත් මාදු ගඟ ආශ්‍රිතව වෙසෙන ජනතාව ප්‍රකාශ කර තිබෙන්නේ තවමත් දූපත් 25 ක් පමණ නොනැසී පවතින බවයි.. මෙම දූපත් අතරින් විශාලම දූපත හෙක්ටයාර් 39ක පමණ වපසරියෙන් යුත් මාදූව  වන අතර “සතපහේ දූව” කුඩාම දූපත වේ. මාදූව සහ ගොඩබිම යා කෙරෙන අඩි 1200 දිග පාලම මෙරට දිගම පාලම් අතරින් 1කි. ඊට අමතරව කොත්දූව, මුවන්ගේ දුව, නයිදූව, දික්දූව, තල්දූව, කඩාපාන දූව, එරවන දූව, ගෝනදූව, මිරල දූව, අප්පල දූව, ගල්මන්දුව, මඩ දුව ආදී දූපත් හඳුනා ගත හැකිය. කොත්දූව රජ මහා විහාරය පිහිටි  “කොත්දූව” සහ කුරුඳු කර්මාන්තය සිදු කෙරෙන දූපත මෙම දූපත් අතරින් සංචාරකයන් අතර සුවිශේෂී ආකර්ශනයක් වේ. කෙසේ වුවත් අතීතයේ මෙහි දූපත් 64ක් පැවති බවට ආනන්ද රාජකරුණා ශූරීන්ගේ පහත කවිය ද සාක්ෂි දරයි.
                        “නිල් මල් බිසව් කෙළිනා මාදු            ‍ ගගේ
දූපත් හැට හතර මාලෙක මැණික්         වගේ
අතරින් පතර තැන් තැන් වල ඉවුර       දිගේ
දාගැබ් පෙලින් ඇති වුණු ලස්සනක      අගේ

මාදු ගඟ පිළිබඳව බොහෝ දෙනා නොදත් පැතිකඩ නම් එහි ඓතිහාසික පසුබිමයි. මාදුගග ආශ්‍රිතව ගෙතුණු ජනප්‍රවාද ද රැසකි. මෙහි ඓතිහාසික පසුබිම ගතහොත් සාහිත්‍ය ග්‍රන්ථ වල වැලිතර වැලිතොට යන නම් වලින් හැඳින්වෙන මෙහි දෙවන පරාක්‍රමබාහු රජ සමයේ දී දේවපතිරාජ අමාත්‍යවරයා මෙරට ආක්‍රමණයට වැලිතොට තොටමුණට පැමිණි ජාවක හමුදාව පරාජය කිරිම සඳහා බල සේනා සමඟ රැඳී සිටි බවත් එම නිසා බලපිටිය වූ බවත් සැලකෙන අතර ලක්දිවට දළදා වහන්සේ රැගෙන ආ හේමමාලා කුමරිය හා දන්ත කුමරු මහසෙන් රජ සමයේදී අනුරාධපුරයට නොගොස් දකුණු වෙරළේ වැලිනදී තොටමුණෙන් කොත්දුවට වැඩමවා සිට කිත්සිරි මෙවන් රජු සිහසුනට පත්වු පසු නැවත ගිය බව ද, කෝට්ටේ වීදිය බණ්ඩාර රජ සමයේ එක් අවස්ථාවකදී ද දළදා වහන්සේ කොත්දූවට වැඩම කරවු බවද ජනප්‍රවදයේ පවතින තවත් විශ්වාසයකි. කොත්දූව රජ මහා විහාරයේ විහාරාධිපති ඕමන්තේ පුඤ්ඤසාර හිමියන් ප්‍රකාශ කරන්නේ එලෙස දන්ත ධාතූන් වහන්සේ දෙවරක් වැඩමවූ ලක්දිව එකම ස්ථානය මෙය බවයි. එමෙන්ම කොත්දූව විහාරයේ විරාජමානව වැඩ වසන අනුරාධපුර යුගයේ රෝපණය කරන ලද වසර 2320ක් පැරණි ශ්‍රී මහා බොධියේ ශාඛාව සමස්ථ මාදු ගඟ ප්‍රදේශයේ ම ඓතිහාසික වටිනාකම තීව්‍ර කරයි. එබැවින් මාදු ගඟ පිළිබඳ කතාකරන විට කොත්දූවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.



ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක සංචරණය

 ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක සංචරණය

                                                     වර්ථමාන සංචාරක කර්මාන්තය තුළ ක්‍රියාත්මක වන සංචාරක සංකල්ප අතරින් ත්‍රාසජනක සංචරණය වූ කලී වර්ථමානයේ ලොව පුරා සංචාරකයන් අතර ඉහල ඉල්ලුමක් පවතින සුවිශේෂී සංචාරක ප්‍රවර්ගයක් ලෙස හඳුනාගත හැකිය. ශාරීරික ක්‍රියාකාරකම්, සංස්කෘතික හුවමාරුව හෝ පරිසරය සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය හා බැඳුණු සංචරණය ත්‍රාසජනක සංචරණය ලෙස අපට සරලව අර්ථ දැක්විය හැකිය. එනම් ත්‍රාසජනක සංචරණය යනු නිරතුරුවම ස්වභාව ධර්මය සමඟ බැඳී පවතින්නක් මෙන්ම සංචාරකයාට ත්‍රාසජනක අත්දැකීමක් ලබාදෙන්නා වූත්, අවධානම් සහගත වූත් ක්‍රියාකරකම් වලින් සමන්විත වූවක් වන අතර පෙර පැවසූ ආකාරයට සංචාරකයන් අතර ත්‍රාසජනක සංචරණය වඩාත් ප්‍රචලිත වීමට මෙම අවධානම් සහගත බව සහ ත්‍රාසය කැටි වූ ක්‍රියාකරයම් ප්‍රභල ලෙසම හේතු සාධක වී තිබේ. තවදුරටත් ත්‍රාසජනක සංචරණය පිළිබඳ ව අධ්‍යයනය කිරීමේදී ප්‍රධාන ලෙසම ත්‍රාසජනක ක්‍රියාකාරකම් දෙයාකාරයකට වර්ග කළ හැකිය. එය පහත පරිදි වේ.
·        දෘඪ ත්‍රාසජනක ක්‍රියාකාරකම් (hard adventure activities)

දෘඪ ත්‍රාසජනක ක්‍රියාකාරකම් යනු සංචාරකයාට මුහුණදීමට සිදුවන අවධානම වැඩි, ඉහළ කායික මානසික යෝග්‍යතාවයක් අවශ්‍ය, අයකිරීම් ඉහළ මට්ටමක පවතින්නා වූ ක්‍රියාකාරකම් වන අතර බොහෝ විට මෙම ක්‍රියාකාරකම් වල නිරත වීමට නම් පෙර පුහුණුවක අවශ්‍යතාවය පවතින අතර මුල්ම වරට සහභාගී වන්නෙකුට සහභාගී වීම අපහසුය. එමෙන්ම බොහෝ විට දෘඪ ත්‍රාසජනක ක්‍රියාකාරකම් සඳහා සහභාගී විය හැක්කේ වයස අවුරුදු 20-50 ත් අතර හොඳ කායික යෝග්‍යතාවයක් සහිත පුද්ගලයන්ට වේ.
උදාහරණ -
Bungee jumping, white water rafting, scuba diving, hot air ballooning, paragliding, surfing, desert crossing, volcano climbing, ice climbing, waterfall climbing, waterfall , waterfall descending, parasailing, rock climbing , wind surfing





 


·       මෘදු ත්‍රාසජනක ක්‍රියාකාරකම් (soft adventure activities)
මෘදු ත්‍රාසජනක ක්‍රියාකාරකම් යනු සංචාරකයාට සම්මත සංචාරක පථයෙන් මිදී කායික සහ මානසික සුවතාවය ලබාගැනීම සඳහා යොමුවිය හැකි අපූරු ක්‍රියාකාරකම් ලෙස හඳුන්වා දිය හැකි අතර අවධානම් සහගත බව අඩු, සංචාරකයාට විශාල පීඩනයක් ලබා නොදෙන ක්‍රියාකාරකම් වේ. විශේෂයෙන්ම සොබාදහමේ අපූර්ව චමත්කාරය විඳ ගැනීමට මෘදු ත්‍රාසජනක ක්‍රියාකාරකම් වූ කලී කදිම අවස්ථාවකි. ඉහළම කායික මානසික යෝග්‍යතාවයක් අවශ්‍ය නොවීම ද විශේෂත්වයකි.
උදාහරණ-
  • Hiking, trekking, sailing, camping, mountain biking, kayaking, animal and bird watching, boat safari, canoing,


එමෙන්ම ක්‍රීඩාවේ ස්වභාවය අනුවද ත්‍රාසජනක ක්‍රියාකරකම් කොටස් 3ක් යටතේ දැක්විය හැකිය
  • ·         Land bassed adventure activities (ගොඩබිම මුලික කරගත් ත්‍රිසජනක ක්‍රියාකාරකම්)

o   උදාහරණ-Camping, safari, desert crossing, bird watching, hiking, trekking, mountain biking, rock climbing,

  • ·         Water bassed adventure activities (ජලය මුලික කරගත් ත්‍රිසජනක ක්‍රියාකාරකම්)

o   උදාහරණ-boat safari, canoing, kayaking,white water rafting, scuba diving, surfing,
waterfall climbing, waterfall , waterfall descending, wind surfing

  • ·         Air bassed adventure activities (වාතය මුලික කරගත් ත්‍රිසජනක ක්‍රියාකාරකම්)

o   උදාහරණ-Hot air ballooning, bungee jumping, parasailing, paragliding

මේ ආකාරයට ත්‍රාසජනක ක්‍රියාකාරකම් වර්ග කර දැක්විය හැකි අතර මෙම සෑම ක්‍රියාකාරකමක්ම පාහේ කාන්තාර, ජල දුර්ග, මුහුදු රළ ආදී ස්වභාවික බාධක වලින් සපිරි අත්දැකීම් වන අතර එබැවින් ත්‍රාසජනක සංචාරයේ යෙදෙන සංචාරකයාට අනෙකුත් සංචාරකයන්ට මෙන් සුව පහසුව අපේක්ෂා කල නොහැකිය.ස්වාභාවික පරිසරයේ උවදුරු වලට මුහුණ දීමට පවා සිදු විය හැකිය. වර්ථමාන සංචාරක වෙළඳපොළ තුළ ත්‍රාසජනක සංචරණය උදෙසා තරුණ සංචාරක පිරිස් අතර ඉහළ ඉල්ලුමක් පැවතීමටද ප්‍රධානම හේතු සාධකය වන්නේ මෙම අවධානම් සහගත බවයි.
මේ ආකාරයට ත්‍රාසජනක සංචරණය පිළිබඳව කරුණු දැක්විය හැකි අතර වර්ථමාන සංචාරක කර්මාන්තය තුළ වෙළඳපොලේ ඉදිරියෙන්ම සිටින සංචාරක ප්‍රවර්ගයක් වශයෙන් ද සඳහන් කළ හැකිය

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ ද වර්ථමානය වන විට දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත සංචාරක සංකල්පයක් වශෙයෙන් ත්‍රාසජනක සංචරණය හැඳින්විය හැක් අතර මෙරට තුළ පවතින්නා වූ කඳු, ගංගා, දිය ඇලි, මුහුදු රළ, වැනි ස්වභාවධර්මයේ අර්‍පර්ව දායාදයන් ආශ්‍රය කොටගෙන ක්‍රියාකාරකම් රාශියක් ශ්‍රී ලංකවෙ තුළ ක්‍රියාත්මක වන අතර උදාහරණ වශයෙන්
  • ·       Surfing - ආරුගම්බේ,මිරිස්ස,උණවටුන
  • ·       White water rafting - කිතුල්ගල
  • ·       Kayaking - මීගමුව
  • ·       Scuba diving - හික්කඩුව
  • ·       Boat safari - මාදු ගඟ
  • ·       Jeep safari- හබරන(මින්නේරිය/කවුඩුල්ල/eco park)
  • ·       Bird watching - සිංහරාජය, කන්නෙලිය, කුමන
  • ·       Dolphin and whale watching - කල්පිටිය, මිරිස්ස
  • ·       Jetsky - බෙන්තර
  • ·       Wind surfing - ආරුගම්බේ, මිරිස්ස
  • ·       Trekking - රිවස්ටන්, හෝර්ටන් තැන්න
  • ·       Hiking - රජගල
  • ·       Hot air ballooning - දඹුල්ල
  • ·       Caving - බෙලි ලෙන, පාහියංගල




වැනි ක්‍රියාකාරකම් දැක්විය හැකි අතර වර්ථමානය වන විට විදේශීය සංචාරකයන් පවා සැලකිය යුතු ප්‍රමාණයක් මෙවැනි ක්‍රියාකාරකම් වල නියැලීම සඳහා මෙරටට පැමිනෙයි. ශ්‍රී ලංකාව තුළ මෙවැනි ත්‍රාසජනක ත්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කිරීමට විභවතාවන් රැසක් පවතින අතර ඒ ආශ්‍රිතව තවදුරටත් මෙම ක්‍රියාකාරකම් සංවර්ධනය සහ ප්‍රචාරණය තුළින් මෙරට සංචාරක කර්මාන්තයට පවතිනවාටත් වඩා ඉහළ දායකත්වයක් ලබා ගැනීමේ හැකියාවද පවතී.

පෙම....

                                                    නෙතු අතර ඇති                                                     හදවතේ රැඳී  ...